
ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති නිසා ඒවා පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තමාට උපදෙස් ලබා ගැනීම සඳහා මෙම විද්වත් මණ්ඩලය පත් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසා තිබේ.
ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති නිසා ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයට පසුගිය වසරේදී ඉදිරිපත් වුවද එය වැඩි ඡුන්දයෙන් පරාජයට පත් වූ බව බැන් කී මූන් මහතා ඉතා හොඳින් දනී. එහෙත් දැන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉහත කී පරාජිත යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දැරීම ඉතාමත් ගැටළු සහගතය. එය ශී‍්‍ර ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණයක තවත් එක් පියවරක් බවද පෙනී යයි.
ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන් කොටි ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා ගෙන ගිය මානුෂික මෙහෙයුමේදී සිවිල් ජනතාවගේ ජීවිත හා දේපළ අරක්ෂා කිරීම සඳහා කළ කැපවීම අද මුළුමහත් ලෝකයම හොඳින් දනී. නමුත් ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිදුවන යුද මෙහෙයුම්වලදී සිවිල් ජනතාවගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ බරපතළ චෝදනා එල්ල වේ. එසේම එකී යුද මෙහෙයුම්වල නිරතව සිටින ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා ද බොහෝ සෙයින් එල්ල වෙමින් පවතී. එහෙත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒවා පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ මණ්ඩල හෝ විද්වත් මණ්ඩල පිහිටුවා නැත. මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දෙබිඩි පිළිවෙතයි.
එනිසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයා කලාපය නතර කිරීම සඳහා චීනය, රුසියාව ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි අපගේ මිත‍්‍ර රටවල සහාය ලබා ගැනීමට රජය කටයුතු කළ යුතුව තිබේ.
එසේම වසර තිහක් තිස්සේ අපගේ මාතෘභූමිය වෙළා පැවැති බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරදවා ලැබූ විජයග‍්‍රහණයේ පළමු සැමරුම අභිමුව එම විජයග‍්‍රහණයට මුල් වූ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නඟන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ලින් පැස්කෝ මෙරටට ගෙන්වීම ද ගැටළු සහගතය.
විජයග‍්‍රහණයට මුල් වූ රණවිරුවන්ට මුළුමහත් ජාතියේ ප‍්‍රණාමය පිදෙන අවස්ථාවේ ලින් පැස්කෝ වැන්නන් මෙරටට ගෙන්වීම ඔවුනට කළ බලවත් අගෞරවයක් බව අපගේ අදහසයි. ඊට දායක වූ නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
විමල් වීරවංශ (පා.ම)
සභාපති
ජාතික නිදහස් පෙරමුණ
ඉදිකිරීම්, ඉං්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය
2010 ජුනි 21




